(දහසකුත් බාධක මැදින් හීන සිත්තම් කරන්නට වෙර දරන දිරිය දියණියකගේ ජීවිතාවර්ජනය)
තෙවැනි දිගහැරුම
පිනිදිගේ සිඟිති මුවින් තෙපලන සුරතල් බස් කාගේත් ආදරය ලැබීමට ඇයට වාසනාව ගෙන දුන්නකි.අත්තම්මාත් සීයාත් පිනිදිට දීර්ඝායුෂ පැතූයේ ඇය දැන් සිව්වැනි වියැති දියණියක වීමේ ප්‍රහර්ෂයත් සමඟයි.පිනිදිගේ සිත සතුටින් පිරී යන්නට විය.දරිද්‍රතාවය කරපින්නා ගනිමින් උපන් පිනිදිට කෙළිලොල් ජීවිතය රිසි සේ විඳින්නට ගැමි පරිසරයෙන් නම් ලැබුණු අස්වැසිල්ල සුළුපටු නොවී ය.
'අත්තම්මේ.....'
'අන්න...අර බලන්න.'
පිනිදි සිය සිඟිති හඬ අවදි කළේ සිය කටුමැටි පැල අභියසින් හෙමින් ගලා බසිනා දොළ පහර දෙස දෑස් යොමු කරමිනි.ඇය අත්තම්මාගෙන් කුඩා දොළ පහරේ නටා සෙල්ලම් කරන්නටදැ'යි අසන්නට මෙන් ආයාචනාත්මක බැල්මක් හෙලූයේ අත්තම්මා ඊට අකැමැති වේ යැ'යි සිත තුළ පැවැති කුතුහලයත් සමඟිනි.වැස්ස වැඩි නිසාවෙන්ම දොළ පහරේ ජලය ද වැඩි වී පැවතුණි.ඒ දුටු විගස පිනිදිට වේගයෙන් දුවැවිත් ඒ මේ අත පීනා යන කුඩා තිත්ත පැටවුන් සමඟ සෙල්ලම් කරන්නටත් ,ඔවුන් සමඟ මද වේලාවක් පිළිසදරක යෙදෙන්නටත් රිසි වූයේ ළමා ලොවේ කෙළිලොල් බව ඇය තුළ ද වූ නිසාවෙන්ම ය.එහෙත් ගතවූයේ නිමේෂයකි.අත්තම්මා සිය හඬ අවදි කළේ ආමන්ත්‍රණාත්මකවය.
"පුතේ...වැස්ස සැර වැඩියි. වැස්සට තෙමුණොතින් පුතාට අසනීප වේවි."
අත්තම්මාගේ වදනින් පිනිදිගේ සිතට දුකක් දැනුණමුදු මොහොතකින් ඈ අඩි දෙක තුනක් සෙමින් ඇවිද ගොස් ගෙයි ඉස්තෝප්පුවෙහි සිටගෙන දෑත දිගුකොට වහලයෙන් වැටෙන දිය බිඳු සිය දෝතට ගෙන අත්තම්මාගේත් සීයාගේත් මුහුණ දෙස බලා සිනාසුණි.
පුංචි කටුමැටි ගෙයිහි වහලයේ වූ කුඩා කඩතොළුවකින් වැහි බිඳු චඃ....චඃ....හඬ නංවමින් ගෙතුලට වැටෙනු දුටු සීයා පුටු ඇන්දට බර තියා දිගු කල්පනාවකට වැටුණේ මොහොතකිනි.ක්ෂණයකින් සීයා අතීත සිදුවීමක් සිහි කරන්නට විය.
'අපේ වාසනාව..කෙළිපොඩිත්තගෙ හිනාවෙන් මුළු ගෙදරම පිරෙනවා.'
"පුතාලගේ අම්මේ...මතකද..... කෙල්ල ඉපදිලා මාසයකුත් දවස් නවයක් එතකොට මයෙ මතකෙ හැටියට....හැන්දෑ යාමේ කෙල්ලට හැදුණු උණ සන්නිපාතෙ.මතක් වෙනකොට තාමත් මගේ ඇඟ හිරි වැටෙනවා.ලොකු ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයානන් කිව්වෙ කෙල්ලට හැදිලා තියෙන්නෙ නියුමෝනියා කියලා රෝගයක්ලු.කෙල්ලගෙ ජීවිතේ බේරගන්න සියයට අනූ නවයක්ම බැරිවෙන තත්ත්වෙක තියෙන්නෙ කියලා ලොකු දොස්තර මහත්තයා කියන වෙලාවේ මගේ හිස් මුදුනේ ඉදන් දෙපතුළ දක්වා මුළු සරීරාංගෙම පණ නැතිවෙලා ගියා වගේ දැනුණා.."
සීයා අතීත සිදුවීම විග්‍රහ කරනු ලැබුවේ හදෙහි ඇති වූ ගැඹුරු කැළඹිලි සහගත තත්ත්වය ඉස්මතු කරමින් නෙත් කෙවෙනි අතර කඳුලක් රඳවමිනි.අත්තම්මා එකෙණෙහි බුදුකුටියෙහි වූ බුදු රුවට දෑත් එක්කොට වන්දනා කරනු ලැබූයේ සිය මිනිපිරියගේ දිවි රැකුමට ආගමින් දහමින් ලැබුණු පිටුවහල ද විශ්වාස කරමිනි.
'පුතාලගේ අප්පච්චී....කෙල්ලගෙ දිවි එකෙණෙහි රැකුණේ හාස්කමකින් වගේ.අපේ දුව කෙල්ලව තියාගෙන ආණ්ඩුවේ මහ ඉස්පිරිතාලෙ නිදි නැතුව දවස් කීයක් නම් හිටියද?කොහොමින් කොහොම හරි අපේ වාසනාවට කෙල්ලගෙ ජීවිතේ බේරා ගන්න පුලුවන් වුණා.'
සීයා ද නිහඬවම දිගු සුසුමක් හෙළන්නට වීය.වැස්සත් ක්‍රම ක්‍රමයෙන් අඩුවන්නට වීය.එකෙණෙහි කුස්සියෙහි සිටි පිනිදිගේ අම්මා පිනිදිටත් ,අත්තම්මාටත්,සීයාටත් ආමන්ත්‍රණය කරනු ලැබූයේ තේ මේසයට පැමිණෙන ලෙස දන්වමිනි.
කෙසේ හෝ පිනිදිට කුඩා කල සිට ම ජීවිතයේ නොයෙකුත් බාධකයන්ට මුහුණ දෙමින් දිවි ගෙවන්නට සිදු වුණි.දරිද්‍රතාවය ද පිනිදිගේ පවුලට උපතින් ම දායාද වූ අතර එයිනුත් බැට කන්නට ඔවුනට සිදු වූයේ ද දෛවයේ සරදමකට මෙනි.
සිව්වැනි දිගහැරුමෙන් නැවත හමුවෙන තුරු.......
✍️ජයමාලි.....