Friday, January 20, 2023

කඳු පාර

 

(දහසකුත් බාධක මැදින් හීන සිත්තම් කරන්නට වෙර දරන  දිරිය දියණියකගේ ජීවිතාවර්ජනය)


                        දෙවැනි දිගහැරුම




එදා ඔක්තෝබර් මස හය වෙනිදා ය.රාත්‍රී යාමයේ සිටම තොරතෝංචියක් නැතිව වැහිබිඳු සිත් අරණ ගම්මානයේ පොළෝතලය සිප ගන්නේ මෝසම් වැසි සක්‍රීය වී පැවතීම නිසාවෙනි.පාන්දර හතරේ කණිසමත් සමඟ කුකුළා හැඬලූයේ ගම්මානයේ වැසියන් කඩිමුඩියේ වැඩ රාජකාරිවලට යොමු කරන්නටයි.



පිනිදිගේ පුංචි පැල ද එදින වෙනදාටත් වඩා කලඑළි වී තිබුණි.පන්දර හතරේ කණිසමත් සමඟ පිනිදිගේ අම්මා ලහි ලහියේ සිය කුඩා මුළුතැන්ගෙයි  වැඩපල ආරම්භ කළේ වෙනදාටත් වැඩිය කඩිසරකමකිනි.පිනිදිගේ පුංචි කටුමැටි පැලෙහි සිය කුඹුරෙන් ගත් අලුත් වී අස්වැන්නෙන් ගත් සහල්වලින් කිරිබතක් පිසින්නට අම්මා කටයුතු කළා ය.ඊට පෙර දින අත්තම්මා කොණ්ඩ කැවුම් ද පිළියෙල කළ අතර , අප්පච්චී දින හතරකට පෙර සිටම කොරටුවෙන් ගෙන් එන ලද හොඳ කෙසෙල් කැනක් දුම් මැස්සට දැමූයේ නිසි වේලාවට කෙසෙල් කැන ඉදවා ගන්නටයි.කඩිමුඩියේ මේ පැල්පත සැරසුණේ පිනිදිගේ සිව්වන උපන් දිනය මෙදිනට යෙදී තිබුණ නිසාවෙන් ය.



සිව්වැනි උපන් දිනය පිනිදිට නම් එතරම් දැනීමක් නොතිබුණේ ඈ කෙළිලොල්  මෙන් ම මොළකැටි බවින් සිටි අවධිය මෙකල වූ නිසාවෙනි.වැහි බිඳු ඇද වැටෙන හිමිදිරි උදෑසනක අවදි වීම අතිශය අලස වූව ද , තව මොහොතකට හෝ නින්ද අවැසි බව බොහෝ දෙනෙකුට දැනෙන්නා වූ හැඟීමකි.එනමුදු පිනිදිට නම් වැසිබර කාලගුණය කිසිසේත් ම බාධාවක් නොවී ය.


             ' අප්පච්චී...'


හිමිදිරියේම අවදි වූ පිනිදි සිනා පිරුණු මුහුණින් යුතුව මුළුතැන්ගෙට දුවැවිත් සිය පියාගේ දෑතේ එල්ලුණි.කිරිබත්,කැවුම්,කෙසෙල් පිළියෙල කර තිබූ කෑම මේසය පිනිදිගේ දෑස ගැටුණද ඇගේ සිත සතුටින් ඉපිළී ගිය නමුදු ඒ දෙස මද වේලාවක් බලා සිට ඈ අත්තම්මා සොයා දිව ගියා ය.


'තොරතෝංචියක් නැතිව මහ වැස්ස..අද නම් අඩුවෙන පාටක් නෑ පුතාලගෙ අප්පච්චී..'


ඒ අත්තම්මාගේ හඬය.කුඩා කටුමැටි පැලේ දොරකඩෙහි පුටුවක වාඩි වී ගෙයි ඉදිරිපිටින් ගලා බසින කුඩා දිය පහර දෙස බලා ගත් වනෙහිම සිටි අත්තම්මා දිගු නිහැඬියාවකට සමවැද සිට සිය හඬ අවදි කළා ය.



'මාත් මේ ඒ ගැනමයි කල්පනා කර කර හිටියෙ.අද නම් මේ වැහිපොද අඩුවෙන පාටක් නම් නෑ වගේ.මං හිතාන උන්නෙ අද රාසගල කන්දට ගිහින් හන්දියේ මුදලාලිගෙ කකුලට බඳින්න ඕනි බෙහෙත් පැලෑටි ටික අරගෙන එන්න.ඒකත් අද කරගන්න බැරිවෙනවා මේ වැස්සත් එක්ක.'


අත්තම්මාගේත් සීයාගේත් කතාව අතරතුර පිනිදි දුවැවිත් අත්තම්මා ළඟින්ම හිඳ ගත්තා ය.





තෙවැනි දිගහැරුමෙන් නැවත හමුවෙන තුරු......



✍️ ජයමාලි.....

 




No comments:

Post a Comment

මතක ඔක්කොම මාත් එක්කම මියැදුණා නම්,

මතක ඔක්කොම  මාත් එක්කම මොහොතකට මියැදෙන්න දෙන්නම්; හුඟක් බර නම්  කඳුළු බිඳුවෙන්  හිමින් සීරුවේ පොළෝ තලයම වෙලා ගන්නම්... තනිව ආගිය මගේ නැවතුමක...