(දහසකුත් බාධක මැදින් හීන සිත්තම් කරන්නට වෙර දරන දිරිය දියණියකගේ ජීවිතාවර්ජනය)
පළමු දිගහැරුම
දුහුල් මීදුම් පටලයන් මතුවී නැවත සැඟව යන අපූර්ව කඳු පන්තිය, වනමල් සුවඳ රැගත් සීතල මදනල හමනා තාලයට සෙලවෙන තුරු ලතා,උස් වූ කඳු මුදුන්වලින් ඇද හැළෙන නිල් පැහැති ජල ධාරාවන් ගලාබසින ගං දෑල,දෙසවන් පිනවන සියොතුන්ගේ කිචි බිචි නාදය,සිනා කැන් පුරවමින් ඈතින් දිස්වන නීල පැහැ කෙත් යාය සොබා දහම් මාතාවගේ ආශීර්වාදයෙන් මෙන් "සිත්අරණ" ගම්මානයට ගෙන දෙන්නේ අපූර්ව මිහිරියාවකි.
මොනරාගල දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ගම්මාන යක් වූ "සිත් අරණ" ගම්මානය කාගේත් සිත් ඩැහැ ගන්නේ අපූර්වත්වය නැමැති දෑත දිගු කරමිනි.කුඩා කඳු පන්තීන් දෙකකින් වට වී ගම්මානයේ එක් කොනක පිහිටි කටුමැටි ගැසූ කුඩා නිවාසයන් සිත් අරණ ගම්මානයේ සුන්දරත්වය නරඹන්නෙකුට ඇස ගැටෙන දර්ශනයකි.මනස්කාන්ත පරිසරයකින් හෙබි මෙම ගම්මානය තරමක දුෂ්කර මංමාවත්වලින් සුසැඳි වුව ද මනසට නම් ගෙන දෙන්නේ සුවදායී බවකි.
ගම්මානය කටු මැටි ගැසූ නිවාස විසි පහකින් පමණ සමන්විත වූ අතර, ඒ අතරින් ද එක් නිවාසයක් ගම් වැසියන්ගේ පිහිටට නැතිවම බැරි විය.නමින් එය කවුරුත් හැඳින්වූයේ "තිසාහාමි වෙද මහත්තයැලගෙ ගෙදර"ලෙසයි. වෙද ගෙදර වෙද මහත්තයාත් ,බිරිඳත් සමඟ දැන් ඔවුන්ගේ බාල පුතාත්,ලේලියත් ඔවුන් දෙදෙනාගේ එකම දියණිය වූ 'පිනිදිත්' ජීවත් වන අතර දරිද්‍රතාවය ඔවුන්ට උරුම වූ එක්තරා අභියෝගයකි.වෙදකම මෙන් ම ,ගොවිකමට ද පිනිදිගේ සීයා මනා ලෙස සමත්කම් දැක් වූ අතර , ඒ ආභාසයම පිනිදිගේ අප්පච්චීටත් නොඅඩුවම පිහිටා තිබුණේ හිතේ සවියත් ගතේ විරියත් සමඟම ය.
එදා වේල සොයා ගැනීමට පිනිදිගේ අප්පච්චී මහ පොළොව සමඟ ඔට්ටු අල්ලන්නේ අව් වැසි නොබලා ය.පිනිදිගේ සීයා වෙදකම කිසි දිනක ගතමනාවක් බලාපොරොත්තුවෙන් නම් සිදු නොකළේ උතුම් මනුෂ්‍යත්වය පෙරදැරි කරගෙනයි.දරිද්‍රතාවය අභිමුව වුව ද දැහැමි දිවියක් ගත කිරීම වෙද ගෙදර පවුලේ ඇත්තවුන්ගේ පිළිවෙතක් විය.
දෙවැනි දිගහැරුමෙන් හමු වන තුරු........
✍️ ජයමාලි....
ගොඩක් ලස්සනයි...🌹🌹 දිගටම ලියන්න
ReplyDelete❤️
Delete